ඉස්ලාම් ධර්මයේ, ප්‍රාරම්භකයා සහ අවසන් ධර්මදූතයා ලෙස සැලකෙන ගෞරවනීය මහම්මද් නබි නායකතුමන්ගේ ජන්ම දිනය සමරන 42 වන මිලාද් උන් නබි මහෝත්සවය , සහජීවනය, සහෝදරත්වය සහ එකමුතුකම යන උදාර තේමාව පෙරදැරි කරගනිමින් මහත් හරසරින් සහ අභිමානයෙන් යුතුව මෙවර මෙම ජාතික මහෝත්සවය 2026 අගෝස්තු මස 26 වන දින සවස මීගමුව, පෙරියමුල්ල, අල් හිලාල් විද්‍යාල පරිශ්‍රයේදී පවත්වන ලදි.
ගම්පහ දිස්ත්‍රික්කයට වසර 28කට පසුව මෙවන් ජාතික මහෝත්සවයක් පැවැත්වීමේ අවස්ථාව හිමිවීමත්, විශේෂයෙන් පාස්කු ප්‍රහාරයෙන් පසුව ප්‍රදේශයේ සාමය, සහජීවනය සහ සංහිඳියාව තහවුරු කිරීමේ අරමුණින් මීගමුව පුරවරය මේ සඳහා තෝරා ගැනීමත් මෙවර උත්සවයේ කැපී පෙනෙන විශේෂත්වය විය. ගරු ජනාධිපති අනුර කුමර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම අති උත්කර්ෂවත් ජාතික මහෝත්සවය සඳහා සියලු ආගම් නියෝජනය කරමින් ගරු ස්වාමීන් වහන්සේලා සහ ගරු පූජකතුමන්ලා, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, නියෝජ්‍ය අමාත්‍ය මුනීර් මුලාෆ්ෆර්, විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහාචාර්ය ක්‍රිෂාන්තා අබේසිංහ, කම්කරු අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, නියෝජ්‍ය කතානායක වෛද්‍ය මොහොමඩ් රිස්වි සාලී, කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ, ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න , බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යුසූෆ් සහ ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චම්පික හෙට්ටිආරච්චි යන මහත්වරුන් ද ඇතුළු ප්‍රාදේශීය දේශපාලන අධිකාරිය, ගම්පහ දිස්ත්‍රික් ලේකම් ලලින්ද ගමගේ, මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි යන මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් හා මහජනතාව මෙම ජාතික මහෝත්සවයට සහභාගී වූහ.
වසර ගණනාවක සිට මුස්ලිම් පල්ලිවල ආගමික කටයුතු කරමින් තම ජීවිතයේ වැඩි කාලයක් කැපකල මව්ලවිවරුන් සමාජයට සිදුකල සේවාව මෙම උත්සවයේදී අගැයීමට ලක්කල අතර ජාතික මීලාද්-උන් නබි සැමරුමට සමගාමීව සංවිධානය කර තිබූ පාසල් තරගවල ජයග්‍රාහී සිසු සිසුවියන්ට ත්‍යාග ප්‍රදානය කිරීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරුණි . 2026 වසරේ ජාතික මීලාද්-උන් නබි රාජ්‍ය මහෝත්සවය නිමිත්තෙන් නිකුත් කළ සමරු මුද්දරය සහ මුල්දින කවරය මෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේ මුස්ලිම්වරුන්ගේ ඉතිහාසය පිළිබඳ ලියැවුණු ග්‍රන්ථයක් සහ ජාතික මීලාද්-උන් නබි සැමරුම - 2026 සමරු කලාපයද මෙහිදී ජනාධිපතිවරයා වෙත පිළිගන්වනු ලැබීය . මෙම ජාතික උත්සවය බුද්ධශාසන , ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සහ මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරන ලදි.























