ඩෙංගු අවදානම පිටුදැකීම වෙනුවෙන් ක්‍රියාත්මක “ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහන යටතේ, බස්නාහිර පළාතේ අධි අවදානම් කලාප ඉලක්ක කරගත් විශේෂ මර්දන මෙහෙයුමක් 2026 ජූලි 05 වනදා ආරම්භ විය. ඒ අනුව දැඩි ඩෙංගු අවදානමකට ලක්ව ඇති මීගමුව, මුන්නක්කරය ග්‍රාම සේවා වසම කේන්ද්‍ර කර ගනිමින් විශේෂ ශ්‍රමදාන සහ ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් එදින සාර්ථකව පැවැත්විණි.
මීගමුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ මූලිකත්වයෙන් සංවිධානය වූ මෙම කටයුත්ත සඳහා ප්‍රජා ශක්ති ප්‍රජා සංවර්ධන සභාව, මීගමුව මහ නගර සභාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, ශ්‍රී ලංකා පොලිසිය සක්‍රීය දායකත්වයක් සපයන ලදී. මීගමුව ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සභාපති ගරු ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න මැතිතුමා, මීගමුව නගරාධිපති රොබට් හීන්කෙන්ද මැතිතුමා , මීගමුව ප්‍රාදේශීය ලේකම් රසිකා මල්ලවආරච්චි මහත්මිය ඇතුළු ප්‍රාදේශීය නාගරික මන්ත්‍රීවරුන් සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.






















